Monday, February 11, 2013





දුසැරිය
____



‘මට රු. 9 යේ එකක් දෙන්න.‘

මම ගාන ඇහෙන්නම කියල රු. 10 ක් කොන්දොස්තර සහෝදරයට දුන්නා. බීරි අලියෙක් වගේ ඇහුන කියලවත් හැගීමක් නොදක්වා එයා,

‘යන්නකෝ ඔතැන පොල්ල බදාගෙන ඉන්න එක්කෙනා‘

කියමින්, පෙට්ටිට සැමන් ටින් අහුරන වැඩේ කරන්න ගත්තා. බස් එකේ නොසෑහෙන්න සෙනග උන්නා. ඒ අය කොහේ යනවද ?
ෂිහ් මාත් හිතන්නේ ඕන නැති දේවල්. මම වට පිට බලල කොන්දොස්තර ව හෙව්වා. මොකද මට රු. 1 ක් ඉතිරි ගන්න තියනවා.

අන්දරේගේ කිරිපැණි කතාවක් අහල තිබුනා. කොච්චර කෑවත්, කිරිපැණි ටිකක් නං කන්න පුළුවන් කියපු. ඒ රජතුමා එනකොට ඉඩදෙන ජනතාව වගේ. කොන්දොස්තර සහෝදරය එනකොට මගීන් ඒ වගේ ඉඩ දෙන් නැ.
පෑගුනත් නැතත්, ගෑවුනත් නැතත් එයා ලස්සනට ඉඩ හදාගන්නවා. මට ලැජ්ජාවක් වගේ එකක් ආවා. ලොකු ගෑනු පස්සවල් දෙකක් මැදින් සහෝදරය අපූරුවට තල්ලුවෙලා ගියා.

බහින තැන ලං උනා. මම කොන්දොස්තර සහෝදරයව බලන්න හෙමීට බස් එකේ ඉස්සරහට ගියා. සෙනග ටිකෙන් ටික අඩු උනා. ඉස්සර දොර ලග උන්න කොන්දොස්තර සහෝදරයා. අමතක උන අයට මතක් කරන තරම් කාරුනික කෙනෙක් උනා.

‘අතේ මාරු ඇති රුපියල ඉල්ල ගන්න ඕන ‘ මම එහෙම හිත හිතා බැස්ස
සහෝදරය පේන්න නැ මම වට පිට බැලුවා. එයා පස්සේ දොරෙන් අයෙම නැගලා.

‘‘හරි යං‘‘ බස් එක මගේ රුපියලේ බලාපොරොත්තුවත් අරං හෙමීට ඇදුනා.

-----------------------------
පොඩි රැකියාවක් කරන බොඩිං ජීවිතයක් ගෙවන මට, මාසේ 25 - 30 කියන්නේ අමාරු දවස්. ඒක ගෑනුන්ගේ අමාරු දවස් වගේ එකක්. හිසරදේ, සහ සාක්කුව හිස් වීමේ මානසික අවපාතයෙන් මම සෑහෙන්න බැට කෑවා. බෝඩිමේ කෑම එක ලැබෙන නිසා ඒ අයට වගේ බඩේ අමාරුව දැනුන් නැ.

වැඩ කලේ බෝඩිම ලගම කැනක, ඇගටත් හොදයි කියල මම පයින්ම වැඩට ගියා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එයි මම 10 කොලයක් කොන්දොස්තර සහෝදරයට දීලා යන්නේ කොහෙද කියලා.

ඇත්තටම කීවොත් මම යන්නේ තාත්තා ගාවට. රු. 1000 නැවත නොගෙවන ආදරනීය ණයක් ඉල්ල ගන්න. වත්තේ පහල තිබ්බ ඇට්ටෝනියා ගහක්, තාත්තා සල්ලි කරලා. හිතේ උපන් දරු දුකට,
රැයාවක් කරන පුතාට සල්ලි කීයක් දෙන්න පියානන්ට පිං සිතක් පහල වෙලා. ඒ ගනු දෙනුව - නැ නැ ගනුව ගන්න මං මේ ගෙදර යන ගමන්.

මසේ අන්තිම නිසා මං අතේ සන්තකේම තිබ්බේ රු. 110/- යි.
ඒක කියන්න ලැජ්ජ වෙන්නේ මොකටද ? ඒකත් නැති අය කොච්චර ඉන්නවද ? මං හරි දක්ෂයි හිත සනසගන්න.
මං එහෙම්මම කරා.

-----------------------------------------------------

ගමට යන බස් එකක නැවතුමේ තිබුනා. සෙනග ගොඩක් නැත්තේ
ඉරිදා නිසා වෙන්න ඇති. මං එහෙම හිත හිතා බස් එකට ගොඩ උනා.
බස් එකේ පස්ස රෝදේ උඩ තියන සීට් එකේ යන්න මම කැමතියි.
ඒ ඒක ටිකක් උස නිසා. මොකද බස් එකට නගින ලස්සන කෙල්ලක්
කෙහේ හිටියත් මට පේන නිසා. ගිහින් ලගින් ඉදගන්න, ඔයා කොහෙද
මට එහෙම අහන්න ටිකක් ලැජ්ජයි.

‘තමුසෙට මොකටද ඒක‘ එහෙම අහයි කියල මගේ හිත කීවා

‘කැන්දපාන ට එකක් ‘ මම අතේ තිබ්බ 100 දික් කරාට කොන්දොස්තර අයියා ගේ මූන බැලුවේ නැ. මොකද ඒ ටිකට් එක 101 කියල මම දන්න නිසා. රුපියලක් අඩුයි.

‘101‘ එයා ටිකක් සද්ද කරල කීවා. මම හිනා උනා. ඒත් දෙන්න රුපියලක් මං ගාව නැ. මං හිතුවා මං වගේම එයත් රුපියල අමතක කරයි කියලා.

‘මේ මල්ලි 101 යි තව රුපියලක් ඕන.‘

මං ආයෙම හිනා උනා. උස සීට් එක නොදකිං. ඔක්කොටම මාව පේනවා.
මං ජනේලයෙන් අනන්තය හෙව්වා.

කොන්දොස්කර දෙයියෝ සද්දේ වහල ඉස්සරහට ගියා. හැමෝට ම බස් එකේ යන එකේ යුතුකම කරන්න එයා අවස්තාව ලබල දුන්නා. අපහු මං ගාවට එනකොට මට දෙවි මූන අස්සේ යක්ෂ මූනක් පේන්න ගත්තා.

‘‘මේ මල්ලී තව රුපියලක් ඕන. මේ බස් ආන්ඩුවෙන් අපිට නිකං දුන්නේ නැ. රුපියලක් නැත්තං මගින් බහිනවා. මගුල ටිකට් එක ඉල්ලන්න කලින් තියෙන්නේ ඔච්චරයි කියල කීවනං ම 100 ටිකට් එකක් දෙනවා.‘‘

යක්ෂයා මාව නිරුවත් කලා. මට දැනුනේ මං සීට් එක උඩ හෙලුවෙන් ඉන්න ගානට. හුගක් අය රුපියලක් වෙනුවෙන් මං දිහාම බලාගෙන හිටියා.

කුඩු කාරයෙක්, පොකට් කාරයෙක්, හිංගන්නෙක්..

උන්ගේ ඇස්වල එහෙම තියෙන්න ඇති. ඒත් මගේ ඇස් බොදවෙලා තිබ්බ නිසා මට ඒක එහෙම්මමද කියලා හරියටම හිතාගන්න බැරි උනා.

‘‘ අයියා මම රු. 9 ට උදේ 10 ක් දුන්නා එයා මට රුපියලක් ඉතිරි දුන් නැ‘‘

මම කෙදිරි ගෑවා. ඊටත් වඩා කියන්න දෙයක් මට තිබ්බේ නැ.

‘‘මේ අහනවා. රුපියලක් ඉල්ලගන්න. රුපියලක් නැති ඔහේට ලැජ්ජයි.
ලක්ෂ 40 ක බස් එකක් තියන මට තමුන්ගෙන් රුපියලක් ඉල්ලන්න ලැජ්ජ නැ.

යක්ෂයා වට පිට බලල මෙහෙම කීවා.

‘මල්ලී මේ අහගන්නවා ලැජ්ජාව කියන්නේ රුපියල ඉල්ලන්න බැරි කම නෙවෙයි. එක ඉල්ලන්න කොන්දක් නැති කම, පොන්න කම‘‘

එයා අන්තිම වචනේ, ඒක කීවේ කනට කරලා.

---------------------------------------------------------

‘‘මට රු. 9 එකක් දෙන්න.
මේ මහත්තායා මට ඉතුරු රුපියල දෙන්න. මොකද ගාන රු. 10 නෙවෙයි නේ. 9 නේ‘‘
 —.....
1

No comments:

Post a Comment

අදහස් උදහස් සමසිතින් විද ගනිමි