Thursday, February 28, 2013




අනේ මන්ද (කාට කියන්නද ?)
_______________________________





දෙවන පාර ඔබාමා තේරීපත්වු දවසේ ටීවී එකෙන් එයාව දැක්කා..

පවුලයි ළමයි දෙන්නයි එක්ක එයා හිටියේ රූප රැජින තරගයෙන් 

දිනුවා වගේ හැගීමක.

ඇත්තටම තරුවක් වගේ...

‘තරුවක්‘

පවතින දේශපාලන ක්‍රමයේ නායකත්වය ‘තරුවක්‘ කරන එක උපයක්
බලන්න මහින්ද මහත්තයා පට්ට තරුවක්, ගමේ ගෑනු ලගට දුන්නොත් මොනා නොකරයිද ?
එයා වීරයෙක් කරන්නේ, මේ දේශපාලන ක්‍රමය,

ඒ ඇයි. ?

පාලකයට මේ සියල්ල තනියෙන් කරන්න බැ. ඒත් නම යන්නේ පාලකයාගේ, දන්නවනං
ඇමරිකාවේ පාලක පක්ෂයේ 10 කගේ නම් කියන්න. ඇත්තටම ඒ චරිත පුලුවන් තරම් යටට යවනවා.

අපේ සිරිපාල මහත්තයා මෙත්‍රිපාල මහත්තයා ෆවුසි වගේ අය නිහඩ චරිත වෙන්නේ ඒක නිසා.

අපි පාලකයට හොද කියනවා. ක්‍රමය රැකෙනවා. අපි පාලකයට බනිනවා කරන්න දෙයක් නැති තැන එයාව අයින් කරනව. අළුත් කෙනෙක් එනවා.

දන්නවද ? ඒත් ක්‍රමය රැකෙනවා.

දේශපාලන මන්ඩල ගැන කතා වෙන් නැත්තේ ඒකයි.

අපි පාලකයට හොද කියමු. මුරුංගා අත්තේ තියමු. වදිමු. එතකොට නිරුවත් වෙන්නේ, අපිට
(ජනතාවට) කෙලවෙන, උන් හැදෙන පාලන ක්‍රමයයි.

අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමනි ! ඔබ බුදු වේවා !
2/3 බංග වේවා !

(තුනෙන් දෙක කීවේ මන්ත්‍රීවරුන්ට හොදේ........)

(ඉස්සර නං ජනතාවිමුක්ති පෙරමුනට දේශපාලක මන්ඩලයක් තිබ්බා. එත් ඒ අයත් තරු හැදුවා,
තරුව ගිහින් දැන් සාටක කරේ බැබලෙනවා)
 —

Tuesday, February 26, 2013




"පෙරලුන පිට"
____________________

උදේ 7.00 ට විතර පනගන්ව ගත්ත බයිසිකලේ,
මම කිමි 10 කට වඩා ආවේ නැ. පැදිල්ල නැවතුනා. හුලං ගිහින්..

 මම බයිසිකලේ තල්ලු කරන්න පටන් ගත්තා. ලගම තියෙන
වින්කලේ වහල. ඊලග එකට ටික දුරක්
මම ටික කීවේ කිලෝමීටර් 4 කට.

දකුණු පැත්තේ තියෙන්නේ ගාමන්ට් එකක්. ලස්සන ගෑනු ළමයි පාරේ පාවෙනවා වගේ. පුදුම සැහැල්ලුවක්. මමත් සැහැල්ලුවෙන්න හිතුනා.

උදේට ලැබෙන හිරු රශ්මිය හරිම අපූරුයි.
අහල තියනවා ඒකේ ‘ඩී‘ විටමින් තියනවා කියලා. හිරු එලිය ටිකක් වත් ලැබෙන් නැති ශීත රටවල මිනිස්සුන්ට වඩා අපි කොච්චර වාසනාවන්තද
පන ගහන හිරු රශ්මිය. මම ආශාවෙන් වින්දා.

පොඩිකාලේ කොච්චර අව්ව තිබ්බත් අපි දුවනවා. හේතුවක් නැ.
අව්වට දාන දාඩිය බිංදු වේගෙන් දුවනකොට වදින, හුලගට සීතලක් දැනෙනවා. හෙල්මට් එක අස්සෙන් වැටෙන දාඩිය බිංදුව මට පොඩිකාලේ මතක් කරා. මම වයිසරය ඉස්සුවේ එහෙම සීතල හුලගක් බලාපොරොත්තුව.

හිතෙන දේ සපල වෙන එක කොච්චර දෙයක් ද. හයියෙන් ගිය බස් එකක් මගේ ප්‍රාර්ථනා මල්ඵල ගැන්වුවා. දාඩිය මුසු දූවිල්ල. හරියටම රුසියානු නවකතාවක් වගේ. මට සියුම් ආම්භරයක් දැනුනා.

ටිකක් කන්ද, බයිසිකලේ හැනඩ්ල් එක අල්ලං ඉන්න මගේ අත, මටම පේන්න ගත්තා. නහර ඉලිප්පිලා. ස්ටැලෝන්ගේ වගේ, ඇත්ත තමයි. ඒ අය නළුවෝ, ඒත් අපි එහෙමද නළුවෝ නොවන සැබෑම විරයෝ, මම අත තවත් හයිය කර ගත්ත, මාර ෆිට් එකක් දැනෙන් ගත්තා. ඉස්සර අපි ජැකීචෑන් ගේ චිත්‍රපටියක් බලල එන්නේ අත් මිටි මොලවන්. සීයකට උනත් ගහන්න පුළුවන් මානසිකත්වයකින් . මම පාරේ එන කෙල්ලන් දිහා බැලුවේ සීයකට ගහල එන බැල්මෙන්. ගහල කීවේ අතින් පයින්.

දාඩිය දාල නිසා මම අතට කොටටම නමා ගත්තා වැලමිටට ටිකක් උඩින් ටිකක් තද වෙන කොට අමුතුම ගතියක් එනවා. ‘බොඩිෆිට්. ‘ රජකාලේ හමුදාවල අයගේ අත් ගොබයට පිත්තල විල්ලුවක් දානවලු. හරි, ඇත්ත තමයි. එතැන තද උනාම අමුතුයි. මම අයේ අත හිරට තියෙන කමිස ගන්න ඕන. ඒක මාරයි.

උදේට නැගිට්ටම බඩ ටිකක් එල්ලා හැලෙන ගතිය මෙහෙම යනකොට දැනෙන් නැ. මම බඩ දිහා බැලුවා. අප්පා ඒක ලෑල්ලක් වෙලා. නියමයි. ටිකක් උදේම නැගිටල සයිකල් එක තල්ලු කරානං ‘එයා‘ ආදරේට වත් මට බඩා කියන එකක් නැ.

‘හැන්ඩි කොල්ලා‘ කී දෙනෙක් එහෙම හිතුවද දන් නැ. ටිකක් ආඩම්බර වෙන්න ඕන. හැමෝටම හිනාව දාන්න නරකයි. මම හිතට පොඩි තරවටුවක් කරා.

‘සැනසුම ටයර්‘

මම මේන් ස්ටෑන්ඩ් එක ටයර් මාරු කරන මල්ලිටම ගහන්න කියලා, සයිඩ් ස්ටෑන්ඩ් එකට බයිසිකලේ බර දීල, ලග තිබ්බ පුටුවට බර දුන්නා...

-----------------------------
මල්ලී පැච් යන් නැති වෙන්න කරන්න දෙයක් තියනවද ?

ඇහුවා නෙවෙයි මට ඇහුනා...........





රෙද්දේ පෙරහැර
-----------------


හැමදාම ප්‍රබන්ධ ලියන මට ඇත්ත කතාවක් ලියන්න හිතුනා.

මේක ටිකක් පරණයි. ළගදි දවසක අහම්බෙන් සිරස ටීවි එකෙන්,

  කැලනි පෙරහැර දැක්කා. ඒකේ විස්තර කථනයක් යනවා. ක්‍රිකට් මැච් වල විස්තර කථන කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ ඒක බෝලෙන් බෝලෙට වෙනස් නිසා. ඒත් පෙරහැරේ විස්තරේ එකම විදිහයි.
මුදිහාන්සේ මහත්තයා කට පාඩමෙන් හැමදාම කියන දේ කියනවා.

මගේ කතාව නුවර පෙරහැර ගැන. මගේ පොඩිකාලේ ගෙවුනේ ගුරුදෙණියේ.
දන්න කාලේ ඉදන් මම නුවර පෙරහැර බලනවා. නිලමෙලා නැට්ටුවෝ බොරුකකුල් කාරයෝ කස කාරයෝ, පෙරහැර අලංකාර කරනවා.

ඒ අතරේ පන්දං කාරයෝ ඉන්නවා.

පන්දං කාරයෝ කොටස් දෙකක් ඉන්නවා. එකක් කරකවා කරකවා යන අය. අනිත් අය පෙරහැර එලිය කරන්න පන්දම අල්ලන අය.
පෙරහැර ගාම්බීරයි. ගෙනියන්නේ කරඩුව.
ඒත් පෙරහැර කතාව දුක්ඛිතයි.

ඩෝංගා - මේ පන්දං අල්ලන සක්කිලියෙක් ගැන කියන කතාව.
දැන් ඔය ගොල්ල අහයි සක්කිලි කියන්නේ කාටද කියල. ඉන්න මම කියන්නම්. සුද්දන්ගේ කාලේ උන්ගේ වහල් වැඩට සිංහල මිනිස්සු
බැ කීවම දකුණු ඉන්දියාවෙන් දෙමල මිනිස්සු ගෙනවා. එකෙනුත් මල මූතා අදින්න තූත්තුකුඩියෙන් ගෙනා අයට තමයි ‘සක්කිලි‘ කියල කීවේ.
ඩෝංගා හිටියේ මහයියාවේ. මහයියාව ඕනැම කෙනෙක් දන්නවා
ඒ ප්‍රසිද්ධ බෝක්කුව නිසා. ඒක ප්‍රසිද්ධ ලංකාවේ එකම
වතුර, වාහන, සහ දුමිරිය යන තුනම එකට උඩ යන නිසා.

මම මහයියාවේ ඩෝංගා හිටිය පැත්තට මුලින්ම ගියේ, අස්ගිරිය ක්‍රිඩා පිටිය ජාත්‍යන්තර මට්ටමට හදන්න ගත්ත කාලේ, එහේ පැල්පත් තිබ්බේ. ඩෝංගා වගේ දාස් ගානක් හිටියා. ඒ අය නගරේ අතු ගාන සහ ‘මළ‘ අයින් කරන වෘතීය කලේ.

හැත්තෑ ගනන් වල නුවර නගරේ කාසල් වීදියේ (කොටුගොඩැල්ලේ වීදියේ) අපේ ඥාතියෙක් හිටියා මම එහේ යන්න කැමති නැ. ඒකට එකම හේතුව උනේ නගරේ වැසිකිලි වලට ඒදවස් වල තිබ්බේ ‘බාල්දි‘
සුදු පාට බාල්දියක් නගර සභා සේවකයෙක් ගෙනත් වැසිකිලියේ තියනවා. මලපහ කල පසු ලී කුඩු දාන්න ඕන. මම මේකට කැමතිම නැ. වල වැසිකිලි පහසුකම් බුක්ති වින්ද මට මේක මහම වදයක් උනා.

නුවර නගරයේ තියෙන ලොකු ලොකු ගෙවල් වලින් එකතු කරගත් මල
(ගූ) කටුගස්තොට ගොහා ගොඩ කියන ප්‍රදේශයට අරන් යනවා ඒක නිසා ගූ ගොඩ, පස්සේ ගොහාගොඩ කියල නම් වැටුනත් කියනවා.

ඩෝංගලා කරේ එවැනි රස්සාවක්. එ අය වෙනුවෙන් රජයෙන් අනුමත රා තැබෑරුමක් මහයියාවේ තිබ්බා. එකේ ගහල තිබ්බේ 

‘‘අවසරලත් රා තැබෑරුම කියලා‘‘. දවසේ කුලී වැඩ කරලා හවස මේ මිනිසුන්
එන්නේ රා තැබෑරුමට. මහයියාවේ ක්‍රියා පිට්ටනිය ලග කාලේ ගෙවන මම ඩෝංගව දැකල තිබුනා. එයා තැබෑරුමේ වැසිකිලි බාල්දියත් අරගෙන පැද්දී පැද්දී යනවා. ඒ වයස නිසා නෙවෙයි රා බීල මතේ නිසා.

නුවර පෙරහැරේ පන්දම් අර යන අය අතරේ හිටියේ නගරසභාවේ සුළු සේවකයෝ කියල මම දැනගත්තේ ‘ඩෝංගා‘ පන්දමක් අරගෙන යනවා දැක්කට පස්සේ. ලොකයටම ප්‍රසිද්ද කරඩුව ට එලිය දෙන්න පන්දම් අරගෙන ගියේ කසල ශෝධකයෝ. ඒ සුළු මුදලකට.

පාසැල් යන කාලේ මම සෙඛ්‍යධාන ඒකකයට සම්බන්ධ උනා. පෙරහැර බලන්න එන අය වෙනුවෙන් වසරක් පමන ප්‍රථමාධාර දෙන්න වාසනාව ලද්දා.
පෙරහැරේ නටන, බෙරගහන, පන්දම් අරන් යන්නේ, අපි වගේම මිනිස්සු කියල දැනුනේ, එ අය ඇසුරු කරන්න ගත්තට පස්සේ, පෙරහැර වෙනුවෙන් ඒ අයට මුදල් ලැබුනා. මුදල් වෙනුවෙන්, කිලෝ මීටයක් විතර ගින්දර උස්සං ගියා. නැටුවා. මුලෑදෑනි මන්දරය ලග අපේ ප්‍රථමාධාර කුටිය ලග වයසක නැට්ටුවෙක් සිද්ධාලේප ටිකක් අරගෙන ගාන කොට, සද්ධාවට වඩා මුදල් ලොකු නේද කියල
මට හිතුනා.

කියන්න අමතක උනා
දියවඩන නිලමේ කොයි වගෙද කියලවත් බලන්න මට ලගට යන්න බැරි උනා. එයාගේ මාලිගාවට ආරක්ෂාව දාලා තිබ්බා.

Monday, February 11, 2013





දුසැරිය
____



‘මට රු. 9 යේ එකක් දෙන්න.‘

මම ගාන ඇහෙන්නම කියල රු. 10 ක් කොන්දොස්තර සහෝදරයට දුන්නා. බීරි අලියෙක් වගේ ඇහුන කියලවත් හැගීමක් නොදක්වා එයා,

‘යන්නකෝ ඔතැන පොල්ල බදාගෙන ඉන්න එක්කෙනා‘

කියමින්, පෙට්ටිට සැමන් ටින් අහුරන වැඩේ කරන්න ගත්තා. බස් එකේ නොසෑහෙන්න සෙනග උන්නා. ඒ අය කොහේ යනවද ?
ෂිහ් මාත් හිතන්නේ ඕන නැති දේවල්. මම වට පිට බලල කොන්දොස්තර ව හෙව්වා. මොකද මට රු. 1 ක් ඉතිරි ගන්න තියනවා.

අන්දරේගේ කිරිපැණි කතාවක් අහල තිබුනා. කොච්චර කෑවත්, කිරිපැණි ටිකක් නං කන්න පුළුවන් කියපු. ඒ රජතුමා එනකොට ඉඩදෙන ජනතාව වගේ. කොන්දොස්තර සහෝදරය එනකොට මගීන් ඒ වගේ ඉඩ දෙන් නැ.
පෑගුනත් නැතත්, ගෑවුනත් නැතත් එයා ලස්සනට ඉඩ හදාගන්නවා. මට ලැජ්ජාවක් වගේ එකක් ආවා. ලොකු ගෑනු පස්සවල් දෙකක් මැදින් සහෝදරය අපූරුවට තල්ලුවෙලා ගියා.

බහින තැන ලං උනා. මම කොන්දොස්තර සහෝදරයව බලන්න හෙමීට බස් එකේ ඉස්සරහට ගියා. සෙනග ටිකෙන් ටික අඩු උනා. ඉස්සර දොර ලග උන්න කොන්දොස්තර සහෝදරයා. අමතක උන අයට මතක් කරන තරම් කාරුනික කෙනෙක් උනා.

‘අතේ මාරු ඇති රුපියල ඉල්ල ගන්න ඕන ‘ මම එහෙම හිත හිතා බැස්ස
සහෝදරය පේන්න නැ මම වට පිට බැලුවා. එයා පස්සේ දොරෙන් අයෙම නැගලා.

‘‘හරි යං‘‘ බස් එක මගේ රුපියලේ බලාපොරොත්තුවත් අරං හෙමීට ඇදුනා.

-----------------------------
පොඩි රැකියාවක් කරන බොඩිං ජීවිතයක් ගෙවන මට, මාසේ 25 - 30 කියන්නේ අමාරු දවස්. ඒක ගෑනුන්ගේ අමාරු දවස් වගේ එකක්. හිසරදේ, සහ සාක්කුව හිස් වීමේ මානසික අවපාතයෙන් මම සෑහෙන්න බැට කෑවා. බෝඩිමේ කෑම එක ලැබෙන නිසා ඒ අයට වගේ බඩේ අමාරුව දැනුන් නැ.

වැඩ කලේ බෝඩිම ලගම කැනක, ඇගටත් හොදයි කියල මම පයින්ම වැඩට ගියා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එයි මම 10 කොලයක් කොන්දොස්තර සහෝදරයට දීලා යන්නේ කොහෙද කියලා.

ඇත්තටම කීවොත් මම යන්නේ තාත්තා ගාවට. රු. 1000 නැවත නොගෙවන ආදරනීය ණයක් ඉල්ල ගන්න. වත්තේ පහල තිබ්බ ඇට්ටෝනියා ගහක්, තාත්තා සල්ලි කරලා. හිතේ උපන් දරු දුකට,
රැයාවක් කරන පුතාට සල්ලි කීයක් දෙන්න පියානන්ට පිං සිතක් පහල වෙලා. ඒ ගනු දෙනුව - නැ නැ ගනුව ගන්න මං මේ ගෙදර යන ගමන්.

මසේ අන්තිම නිසා මං අතේ සන්තකේම තිබ්බේ රු. 110/- යි.
ඒක කියන්න ලැජ්ජ වෙන්නේ මොකටද ? ඒකත් නැති අය කොච්චර ඉන්නවද ? මං හරි දක්ෂයි හිත සනසගන්න.
මං එහෙම්මම කරා.

-----------------------------------------------------

ගමට යන බස් එකක නැවතුමේ තිබුනා. සෙනග ගොඩක් නැත්තේ
ඉරිදා නිසා වෙන්න ඇති. මං එහෙම හිත හිතා බස් එකට ගොඩ උනා.
බස් එකේ පස්ස රෝදේ උඩ තියන සීට් එකේ යන්න මම කැමතියි.
ඒ ඒක ටිකක් උස නිසා. මොකද බස් එකට නගින ලස්සන කෙල්ලක්
කෙහේ හිටියත් මට පේන නිසා. ගිහින් ලගින් ඉදගන්න, ඔයා කොහෙද
මට එහෙම අහන්න ටිකක් ලැජ්ජයි.

‘තමුසෙට මොකටද ඒක‘ එහෙම අහයි කියල මගේ හිත කීවා

‘කැන්දපාන ට එකක් ‘ මම අතේ තිබ්බ 100 දික් කරාට කොන්දොස්තර අයියා ගේ මූන බැලුවේ නැ. මොකද ඒ ටිකට් එක 101 කියල මම දන්න නිසා. රුපියලක් අඩුයි.

‘101‘ එයා ටිකක් සද්ද කරල කීවා. මම හිනා උනා. ඒත් දෙන්න රුපියලක් මං ගාව නැ. මං හිතුවා මං වගේම එයත් රුපියල අමතක කරයි කියලා.

‘මේ මල්ලි 101 යි තව රුපියලක් ඕන.‘

මං ආයෙම හිනා උනා. උස සීට් එක නොදකිං. ඔක්කොටම මාව පේනවා.
මං ජනේලයෙන් අනන්තය හෙව්වා.

කොන්දොස්කර දෙයියෝ සද්දේ වහල ඉස්සරහට ගියා. හැමෝට ම බස් එකේ යන එකේ යුතුකම කරන්න එයා අවස්තාව ලබල දුන්නා. අපහු මං ගාවට එනකොට මට දෙවි මූන අස්සේ යක්ෂ මූනක් පේන්න ගත්තා.

‘‘මේ මල්ලී තව රුපියලක් ඕන. මේ බස් ආන්ඩුවෙන් අපිට නිකං දුන්නේ නැ. රුපියලක් නැත්තං මගින් බහිනවා. මගුල ටිකට් එක ඉල්ලන්න කලින් තියෙන්නේ ඔච්චරයි කියල කීවනං ම 100 ටිකට් එකක් දෙනවා.‘‘

යක්ෂයා මාව නිරුවත් කලා. මට දැනුනේ මං සීට් එක උඩ හෙලුවෙන් ඉන්න ගානට. හුගක් අය රුපියලක් වෙනුවෙන් මං දිහාම බලාගෙන හිටියා.

කුඩු කාරයෙක්, පොකට් කාරයෙක්, හිංගන්නෙක්..

උන්ගේ ඇස්වල එහෙම තියෙන්න ඇති. ඒත් මගේ ඇස් බොදවෙලා තිබ්බ නිසා මට ඒක එහෙම්මමද කියලා හරියටම හිතාගන්න බැරි උනා.

‘‘ අයියා මම රු. 9 ට උදේ 10 ක් දුන්නා එයා මට රුපියලක් ඉතිරි දුන් නැ‘‘

මම කෙදිරි ගෑවා. ඊටත් වඩා කියන්න දෙයක් මට තිබ්බේ නැ.

‘‘මේ අහනවා. රුපියලක් ඉල්ලගන්න. රුපියලක් නැති ඔහේට ලැජ්ජයි.
ලක්ෂ 40 ක බස් එකක් තියන මට තමුන්ගෙන් රුපියලක් ඉල්ලන්න ලැජ්ජ නැ.

යක්ෂයා වට පිට බලල මෙහෙම කීවා.

‘මල්ලී මේ අහගන්නවා ලැජ්ජාව කියන්නේ රුපියල ඉල්ලන්න බැරි කම නෙවෙයි. එක ඉල්ලන්න කොන්දක් නැති කම, පොන්න කම‘‘

එයා අන්තිම වචනේ, ඒක කීවේ කනට කරලා.

---------------------------------------------------------

‘‘මට රු. 9 එකක් දෙන්න.
මේ මහත්තායා මට ඉතුරු රුපියල දෙන්න. මොකද ගාන රු. 10 නෙවෙයි නේ. 9 නේ‘‘
 —.....
1

Monday, January 21, 2013





                  ‘එම්. බ්‍රහ්ම‘
        -------------

මම නම ලියල තිබ්බ ත්‍රිකෝණාකාර පිත්තල පුවරුව අතට ගත්තා.
ඈතට ලස්සනට තිබ්බට ඒක එච්චරම ලස්සන නැ. අකුරු කැතයි වගේ
ඒ.සී. එක එච්චරම සීතල නැ. මම ඒක වැඩි කරන්න පුළුවන්ද කියල බලන්න වට පිට බැලුවා.

කාමරේ පුරා ගාලා තිබ්බේ පැහැදිලි කරන්න බැරි වර්ණයක්. මම කලිසම් සාක්කුවට අත දැම්මා. කාසි ටිකක් එක්ක ඇඹරිල තිබ්බ කොලේ අතට ගත්තා.

ළමාවිය - ආහාර, ඉගෙනීම, තත්වය
තරුන විය - පෙනුම රැකියාව සහ ආදරය
මැදිවිය - මොකවත් නැ.

ඒ මම ලියාගෙන අපු ටික.

‘‘තව ටිකකින් එනවා‘‘
එහෙම කියල ‘අභිර්භූධන‘ දොර වහගෙන එලියට ගියා.

ටිකක් අපහැදිලියි නේද ?

හරි මම මුල ඉදල පහදල දෙන්නම්. මේ තියෙන්නේ ‘‘මහ බ්‍රහ්මයාගේ‘‘ නැත්තම් මහ බඹාගේ භවන. මං මේ වාඩිවෙලා හිටියේ එයාගේ නිළ හමුවීම් කාමරේ, දොර වහගෙන ගියේ මගේ ඉෂ්ධ දේවතාවා. ඒ කියන්නේ අභිර්භූධන.

මිනිහෙක් හැටියට ‘මහබබාව‘ හම්බවෙන්න මං සෑහෙන උත්සහ කරා. අන්තිමේදී ඒකට මට උදව් කරේ අභීර්. එයාව හම්බුන විදිහ ලොකු කතාවක්
දැන් ඒක කියන්න වෙලාව නෙවෙයි.

මම පැයකුත් විනාඩි 17 ක් එතුමා එනකං බලා හිටියා. මට තිබ්බා ලොකු දුක් ගැනවිල්ලක් කියන්න. ඒත් එතුමා ගේ හැසිරීම අනුව කියන්න පුළුවන් වෙයිද ? නැත්තං අමතක වෙයිද කියල හිතුන නිසා මම මගේ දුක සාරංශ කරල ලියාගෙන ආවා.

මට පොඩිකාලේ මතක් උනා. කන්න නොකා හිටිය වේල් ගනන. පොත් පත් ටිකක් ගන්න බැරිව වින්ද අපහසුව. ඉරිච්ච කලිසං නිසා ලමයි දාපු නොක්කාඩු. මට ඇඩෙන්න ආවා.

මම නහයට උරපු හොටු උඩට ඇද්දා.

කදුලුයි හොටුයි අතර සම්බන්ධය ගැන හිතුනා. ඇඩෙන කොට ඇයි හොටු එන්නේ. ෂික් මොනවද මං මේ හිතන්නේ දැන් ‘එතුමා‘ ආවම කියන්න තියෙන දේවල් අමකත වෙනවා.

දවසක් පොලිසියේ රාලහාමි කෙනෙක් කීවා මට මෙතැන ‘යූ ටර්න්‘ ගහන්න බැ කියලා. එත් එතැන පුළුවන් බව මම දැනගෙන උන්නා. මම පොලීසියට ගියේ ලොකු මහත්තයාට රාලහාමිගේ වරද කියන්න. ඒත් ලොකු මහත්තයා මං දිහාවත් නොබලා

‘‘මෙයාට දඩ කොලේ ගෙවන්න බැරි නං උසාවි දාන්න‘‘

කියල යන්න ගියා. මම එක් මතක් වෙලා වඩාත් ‘සංවර‘ උනා.

ටිකකින් සුවදක් ආවා. ඒක තමන් ආස ආස හිතෙන විදිහට වෙනස් වෙන සුවදක්. මට රම් බෝතලයක සුවද ආවා. ඒත් එක්කම රත්ත්‍රන් සළුවක් ඇදගත්ත සුදු රැව්ලක් තියෙන උත්තමයෙක් කාමරයට ආවා. මම නැගිට්ටා. නෙවේ නැගිට්ටුනා.

‘ඇයි ආවේ ඔබට මොනවද ඕන‘ එයා කාරුණිකව ඇහුවා.
ඕ අයි සීට වඩා හොදයි. මට හිතුනා.

‘මම ආවේ මං වින්ද දුක කියන්න. ඇයි මට මෙහෙම ජීවිතයක් දුන්නේ‘

‘හරි. ඒව ඉවරයි දැන් ඔබට ඕන දේ කියන්න‘‘

‘මට ඕන, එහෙම කලේ ඇයි අහන්න දන්නවද මට දැන් වයස 40 යි
දවස් වලින් 14600 ක්, මම කනස්සල්ලෙන් හිටියා. ඔබ තුමා දැන් මට මොන දේ දුන්නත් වැඩක් වෙනවද ? ඒ ගෙවපු අතීතය ආපසු ගන්න බැරි නං‘‘

‘හරි. ඒව ඉවරයි දැන් ඔබට ඕන දේ කියන්න‘‘

‘නැ මට දැන් ගන්න ඕන ඇයි එහෙම කරේ කි......‘‘

‘‘උඹ දන්නවද කා එක්කද කතා කරන්නේ කියලා. වහාම පිටවෙලා පලයං
දැන්නම් මම මේ මොහොතේම උඹව බල්ලෙක් කරනවා‘‘

මට ඉහවහා ගිය කේන්තියක් ආවා. නොදකිං මූත් අර ඕ. අයි. සී.ට දෙවැනි නැ

‘‘ ඉතිං කරනවකෝ. මට තමුසේ මොකක් කලත් මොකද. මේ ජීවිතයට වඩා මට අනිත් හැම එකක්ම හොද කොට.‘‘

මම ආපසු එන්න හැරුනා. හැරිලා

‘දැන ගන්නවා මං හැමෝටම කියනව තෝ පගාකාරයෙක් කියලා පගා අරන්
මිනිස්සුන්ට සැප දෙනවා කියලා‘‘

මම දොර ලගට ආවා.

‘ඕයි ... ටිකක් ඉන්නවා‘‘

මම නැවතුනා මිනිහා මං දිහා බලාගෙන උන්නා

‘ත මු සේ මහ වා ත ය ක්‘‘

මිහිහ ඇදල පැදල කීවා. මට හිනා ගියා. ඒක කියන කොට මිනිහගේ මූනේ තිබ්බේ සමහර දවස්වලට මගේ මූනට ඇදෙන රටාවක්.
‘සසරම එපා උන රටාව‘ මගේ ඒක හැදින්නා. ඒ කියන්නේ මූ අහිංසකයෙක්.

මිනිහා (එම් බ්‍රහ්ම) මට අතින් සංඥා කලා දොරේ අගුල දාන්න කියලා. මම නැගිටල දොරේ උඩ‍ට තල්ලු කරන කූර තල්ලු කලා. අහන් නැතුවම
‘ඇත- නැත‘ බෝඩ් එකේ ‘නැත‘ කියන එකට මාරු කරා. මම පුටුවේ වාඩි උනේ සැහැල්ලුවෙන්. අද ඕක්කොම කියනවා. මම හිතුවා.

‘දන්නවද මට හොද ළමා කාලයක් දුන්නේ නැ. බඩගින්නේ තිබ්බා.
ලැජ්ජාවට ලක්වෙන්න සැලැස්සුවා. හොද තරුණ කාලයක් දුන්නේ නැ.
අඩුගානේ ලොකු ‘ඇගක්‘ වත් දුන්නේ නැ. මට මං ආස කලේ කොන්ඩේ දිගට තියන කරණාවනත් කෙල්ලෙක්........

හා හාං හා ...........

මිනිහ මහ සද්දෙන් හිනාවෙන්න ගත්තා. පුටුවෙන් නැගැට්ටා. අයිනේ තිබ්බ මංජුසාවක් ඇරියා. මට රන්කාසි දෙන්න හදනවද ? මම විමසිලිමත් උනා. මිනිහා එකෙන් ගත්තේ පරන විස්කොතු ටින් එකක්. එකේ පියන ඇරල, මිනිහා කාමරේ කොනේ බිම වාඩි උනා. රෙද්දට යටින් අත දාලා කඩදාසියක ඔතපු බුලත් විටක් අරගත්ත. හිමීට විටක් හදං කටේ දාගෙන ඉතුරු ටික මට දික් කරා. ඊට පස්සේ කෙල ටික ටින් එකට ගැහුවා.

‘දැක්කොත් කේස් ඕයි‘

අයෙම විට මං දිහාවට දික් කරා.

‘සිගරට් නැද්ද‘ මං පුටුවේ. මහබබා බිම. එහෙම අහන්න මට දිරි ලැබිලා තිබුනේ.

‘තමුසේ නං ඕයි මාවම කන්න අපු එකෙක්. අර පොඩි ලාච්චුවේ ඇති. හැබැයි දුම් දාන්න ඕන ඒසී වතුර බටේ ගලවල ඒකට. කැමති නං බොනවා.‘‘

මම ජීවිතේ පලමු පාරට කැමැත්තෙන් එකග උනා. මම සිගරට් එක පත්තු කරල මිනිහ ගාවම වාඩි උනා.

‘‘ඇයි ඕයි මට මෙහෙම කරේ.‘‘ මගේ කට හඩ හැඩුම් බර වෙලා තිබ්බේ

‘‘කාටත් ඕහොම තමයි. ඒත් අනිත් උන් ‘එක‘ සැප වින්ද දවසකට, දුක් වින්ද ජීවිතයම අමතක කරනරවා තමුසේ එහෙම නැ. ඒකයි වෙනස. මට දෙන්න පුළුවන් සැප විතරයි. සැනසිල්ල තමං හදාගන්න ඕන.

මට කේන්ති ගියා.

බොරු කියන්න එපා. අනිත් උන්ට සැනසිල්ල දෙන්නේ තමුන් නෙවේද ?

‘‘නැ බං ඇත්තමයි. මං සැප එහෙම නැත්තං ධනය විතරයි දෙන්නේ. සැනසීම දෙන්නේ ‘කර්මය‘ කියන මගේ ලොකු මස්සිනා. ඇත්තම කියනවානං සැප දෙන්න මං එක එකාගෙන් ‘ගත්ත‘ නිසා තමයි බං මාත් මේ විදවන්නේ. ලොකු මස්සිනාගෙන් මං ඉල්ලුවා සැනසීම ටිකක් දිංය කියලා. උ කියනවා තෝ වගේ පගා කරයින්ට ඒක ලැබෙන් නැ කියලා.‘‘

මිනිහ හූලන්න ගත්තා. මට දුක හිතුනා.

‘අන්න තමුසෙට දුක හිතුනා නේද. අන්න ඒක දැනෙනකං තමුසෙට සැනසීම ලැබෙන් නැ. ඕන නං සැප ලැබෙයි.‘

මං නැගිට්ටා. මිනිහට නැගිටින්න අත දුන්නා. මිනිහ ගලවපු ඒසි එකේ වතුර බටේ හයි කරලා. බිස්කට් ටින් එක වැහුවා.

‘කරන්න දෙයක් නැ මල්ලි. තමුසේ ගැන මට දුකයි. මෙහෙම කරනවා
ඉතිරි කාලේ අවුරදු 30 ක් නං ඒක දවස් 365 කෑලි වලට කඩා ගන්නවා
එක දවසක් වෙන වෙනම ගෙවලා දානවා. එදාට ඉන්නවා හෙට ගැන හිතන් නැතුව. මං ඒක අත්හදාබැලුව, මරු.‘‘

මට තේරුම් ගියා හරි 365*30 - නියමයි.!
මං යන්න ලෑස්ති උනා. යාලුවා ගැන දුකක් දැනුනා මම මිනිහව බදාගත්තා.
මිනිහත් මාව බදාගත්තා.

‘මේ මිනිස්සුට සැප දෙන්න මං සල්ලි ගත්ත බව කාටවත් කියන්න එපා. එතකොට මිනිස්සු මං ගැන තියන විශ්වාසය කඩා ගන්නවා. ඒත් මං සැප දීලා කරන්නේ උන්ට අයහපතක් කියල උන් දන් නැ. මොකද ලොකු මස්සිනා මං වගේ නොවයි. උන්ගෙන් සැනසිල්ල උදුර ගන්නවා කිසිම හිතක් පපුවක් නැතුව‘

මම ඔළුව වැනුවා. දෙරේ අගුල පන්නලා එලියට ආවා අන්තිමේට යාළුවා මෙහෙම කියනවා ලාවට වගේ ඇහුනා.

පුළුවන්නං දුක හිතෙන එක අඩුකරගන්නවා ලොකු මස්සිනා උදව් කරයි.
බැරිම නං විටක් කනවා, මේ මං වගේ.

--------------------
මම උදේම නැගිට්ටා. අද එක දවසක්. පැය 24 ක්. මම ඒක කොහොම හරි ගෙවනවා. මට ඒ ඇති.

3Unlike ·  · 

Friday, January 18, 2013


සැහැල්ලුව
---------------
මට ආසයි
මල් වතු උඩින්, තුරු මුදුන් උඩින් සැහැල්ලුවේ
පියාඹන්න

ඔයා මං ලගම ඉදන්
දෝවනය කරනවා මාව, හිමිකාර, ඉරිසියාකර
ආදරෙන්

මගේ අසරන පියාඹන සිහිනය
බොදවෙලා, තෙමුන නිසා ඔබේ, ආදර වැස්සට
අත්තටු

හිතත් බරයි, තටුත් බරයි
වියපත් සිරකරුය මං, ආත්මාර්ථ ආදර විජිතයක
හිර උන.

-----------------
@ හිර ගෙය බිදින්න උලක් මුවහත් කරමින්


සැහැල්ලුව
---------------

මට ආසයි
මල් වතු උඩින්, තුරු මුදුන් උඩින් සැහැල්ලුවේ
පියාඹන්න

ඔයා මං ලගම ඉදන්
දෝවනය කරනවා මාව, හිමිකාර, ඉරිසියාකර
ආදරෙන්

මගේ අසරන පියාඹන සිහිනය
බොදවෙලා, තෙමුන නිසා ඔබේ, ආදර වැස්සට
අත්තටු

හිතත් බරයි, තටුත් බරයි
වියපත් සිරකරුය මං, ආත්මාර්ථ ආදර විජිතයක
හිර උන.

-----------------
@ හිර ගෙය බිදින්න උලක් මුවහත් කරමින්
 — 

Thursday, January 3, 2013



"පොරොන්දම "


මං එහෙම හිතාන පුටුවේ දිග ඇදුනා.
කිලෝ මීටර් භාගයක් වැස්සේ, කන්දක බයිසිකලේ තල්ලු කරං ආපු නිසා කකුල් දෙක වේවලනව වගේ, මම සපත්තුව අනිත් කකුලින් ගලවල ටීපෝ එකේ කකුල් දෙක තියාන ඇස් පියා ගත්තා.

‘‘බයිසිකලේ අයිනටම දාලා ආවනං ලේසිනේ ‘‘

ඒ බිරිදගේ තුන්වන ඉල්ලීම. මොකද මහන්සිය නිසා මම බයිසිකලේ නැවත්තුවේ ගේ ඉස්සරහ. එතකොට දෙවැනි ඉල්ලීම උනේ. ඔයා තෙමිල ඉන්න නිසා, පිටිපස්සෙන්ම ගිහින් නාගන්න කියන එක.

‘අද නරක දවසක්‘ දෙවියොත් එක්ක වැඩි ආශ්‍රයක් නැති නිසා මම එහෙම හිතන්න හිතුවේ නැ. ඒත් අද නං කුජීත දවසක්. එත් එක්කම බිරිදගේ පළමුවන ඉල්ලීම මතක් උනා.

‘‘ ඇයි රෑ උනේ මම ඔයා එනකං හිටියේ පාන් එකක් ගෙන්න ගන්න, සුදූට හෙට ඉස්කෝලේ ගෙනියන්න“

වැස්සට මොකක් හරි වෙලා ගෙට ටිකක් දුරින් බයිසිකලේ නතර උනා.
බයිසිකලේට මක් වෙලාද ? ඈ කියන ඒවා ඉල්ලීම් හැටියට තේරෙන ඇයි කියල මට හැමදාම හිතුනා.

බිරිදගේ ඉඩමක ගෙයක් හැදුව නිසා රැකියාව කරන්න මට සදුදා උදේම කොළඹ එන්න වෙනවා. අයෙම ගෙදර යන්නේ සෙනසුරාදා හවස
බෝඩිං කාමරයක දවස් 5 ක් රෑ ගෙවන මම දවස් දෙකක් ‘නිදහස‘ හොයාන යනවා.

සේල්ස් රෙපෙක් වෙච්ච මගේ රැකියාට කැමති උනත් නැතත් දැන් ඒක ජීවිතය වෙලා තිබුනේ. කඩවලට වාරකන් කාල තිබ්බට ආයතනයට ඒක අදාල නැ. මට මේ මාසේ තිබ්බ ඉලක්කයට තවත් ලක්ෂයක් සපුරන්න තිබ්බා.

මම උදේම මහ වැස්සෙම එලියට බැස්සා. හවස ගෙදර යන්න කලින්
ඉලක්කයෙන් භාගයක්වත් සපුරන්න හිතාගෙන. මාසේ අන්තිම නිසා පසුම්බිය සැහැල්ලු සුව වින්දා, එත් ඔළුව එකේ අනිත් පැත්ත. කඩෙන් කන්න යන වියදම වැඩි නිසා බෝ
ඩිං කාමරය ලග ගේකින් මම කෑම ගත්තා. කෑම එකත් මල්ලට දාගෙන මම වැඩේට බැස්සා. වැස්සෙම කඩෙන් කඩේ ගානේ ගියා දවල් කඩයක වහලකින් එකපාර ආපු වතුර පාරක් මගේ කෑම එක තිබ්බ බෑග් එක සුනාමියකට අහුඋනා.

‘බත් සුප්‘ මට ටිකක් වේදනාවක් ආවේ සාක්කුවේ සැහැල්ලුව මතක් වෙලා.
මම බඩගින්නේම වැඩේ කරගෙන ගියා. මගේ ඉලක්කය උනේ රෑ 9.00 ට පෙරවත් ගෙදර යන්න. එහෙම හිතාන වැස්සෙම එන්න ආවා.

‘වාහනයක් හැප්පිලා ‘

පාරේ හිටිය කෙනෙක් කියනවා ඇහුනා. ගමන මාර්ග තදබදය නිසා පරක්කුවෙන හැඩයි.

මම උදේ ඉදන් වෙච්ච දේවල් බිරිදට කියා ගෙන කියා ගෙන ගියා. මම හිටියේ ඇස් වහගෙන එත් මම බිරිදගේ මුන දැක්කා. එයාගේ ඇස් දුකින් බරවෙලා තිබ්බා ඇස් කදුලින් බොද වෙලා. මට හිතුනා එයා නැගිටල මගේ ලගට එනවා වගේ හිස අතාගානව වගේ. ඇස් පියාන උන්න මගේ කටහඩ තවත් ඇඩුම්බර උනා.

‘‘බැරිම තැන මම කඩේකට ගියා. බඩගිනි කලන්තේ වගේ. අතේ තියන ගාන බලල මම කොත්තුවක් ඉල්ලුවා. කඩේ කොල්ලා කොත්තුව ගෙනත් තිබ්බා මම ජැකට් එක ගලවන්න අත දිගෑරිය විතරයි මිනිහගේ අතේ තිබ්බ හොදි එක මගේ ඇගේ හැලුනා.‘‘

ගහෙන් ඇන්න මිනිහට ගොනා ඇන්න වගේ දුකින් මම ඒ ටික කියාගෙන ගියා මම දැන් බිරිදගේ ඇඩුමක් හිතින් බලාපොරොත්තූ උනා. ඒත් මට මහා ආත්මානුකම්පාවෙන් පිරුන මගේ හිත ඇය පිරිමදියි කියලත් දැනුනා..

‘සරාස්‘
සද්දෙන් මම හීන ලෝකෙන් මිදුනා බිරිද වේගෙන් පුටුව පස්සට තල්ලු කර නැගිට්ටා. මාව පසුකර යන ගමන්

‘අපිට තමයි කොත්තු නැත්තේ. මං මෙහේ බත් තම්ම තම්බ ඉන්න ඕන‘
කියගෙන ගියා.
---------------------------------------------------------------------------
සදුදා උදේ දියනිය පාසැල ගාවින් දාගෙන මම කොළඹ එන්න පිටත් උනා

දවස් 2 ක් ගෙදර රෑ ගෙවන මම දවස් පහක් ‘නිදහස‘ හොයාන යනවා.
ප්ලෙන්ටියක් සිගරට් එකක් පාන් භාගයක් තනිකමක් - සහ නිදහසක්
 ......