Monday, January 21, 2013





                  ‘එම්. බ්‍රහ්ම‘
        -------------

මම නම ලියල තිබ්බ ත්‍රිකෝණාකාර පිත්තල පුවරුව අතට ගත්තා.
ඈතට ලස්සනට තිබ්බට ඒක එච්චරම ලස්සන නැ. අකුරු කැතයි වගේ
ඒ.සී. එක එච්චරම සීතල නැ. මම ඒක වැඩි කරන්න පුළුවන්ද කියල බලන්න වට පිට බැලුවා.

කාමරේ පුරා ගාලා තිබ්බේ පැහැදිලි කරන්න බැරි වර්ණයක්. මම කලිසම් සාක්කුවට අත දැම්මා. කාසි ටිකක් එක්ක ඇඹරිල තිබ්බ කොලේ අතට ගත්තා.

ළමාවිය - ආහාර, ඉගෙනීම, තත්වය
තරුන විය - පෙනුම රැකියාව සහ ආදරය
මැදිවිය - මොකවත් නැ.

ඒ මම ලියාගෙන අපු ටික.

‘‘තව ටිකකින් එනවා‘‘
එහෙම කියල ‘අභිර්භූධන‘ දොර වහගෙන එලියට ගියා.

ටිකක් අපහැදිලියි නේද ?

හරි මම මුල ඉදල පහදල දෙන්නම්. මේ තියෙන්නේ ‘‘මහ බ්‍රහ්මයාගේ‘‘ නැත්තම් මහ බඹාගේ භවන. මං මේ වාඩිවෙලා හිටියේ එයාගේ නිළ හමුවීම් කාමරේ, දොර වහගෙන ගියේ මගේ ඉෂ්ධ දේවතාවා. ඒ කියන්නේ අභිර්භූධන.

මිනිහෙක් හැටියට ‘මහබබාව‘ හම්බවෙන්න මං සෑහෙන උත්සහ කරා. අන්තිමේදී ඒකට මට උදව් කරේ අභීර්. එයාව හම්බුන විදිහ ලොකු කතාවක්
දැන් ඒක කියන්න වෙලාව නෙවෙයි.

මම පැයකුත් විනාඩි 17 ක් එතුමා එනකං බලා හිටියා. මට තිබ්බා ලොකු දුක් ගැනවිල්ලක් කියන්න. ඒත් එතුමා ගේ හැසිරීම අනුව කියන්න පුළුවන් වෙයිද ? නැත්තං අමතක වෙයිද කියල හිතුන නිසා මම මගේ දුක සාරංශ කරල ලියාගෙන ආවා.

මට පොඩිකාලේ මතක් උනා. කන්න නොකා හිටිය වේල් ගනන. පොත් පත් ටිකක් ගන්න බැරිව වින්ද අපහසුව. ඉරිච්ච කලිසං නිසා ලමයි දාපු නොක්කාඩු. මට ඇඩෙන්න ආවා.

මම නහයට උරපු හොටු උඩට ඇද්දා.

කදුලුයි හොටුයි අතර සම්බන්ධය ගැන හිතුනා. ඇඩෙන කොට ඇයි හොටු එන්නේ. ෂික් මොනවද මං මේ හිතන්නේ දැන් ‘එතුමා‘ ආවම කියන්න තියෙන දේවල් අමකත වෙනවා.

දවසක් පොලිසියේ රාලහාමි කෙනෙක් කීවා මට මෙතැන ‘යූ ටර්න්‘ ගහන්න බැ කියලා. එත් එතැන පුළුවන් බව මම දැනගෙන උන්නා. මම පොලීසියට ගියේ ලොකු මහත්තයාට රාලහාමිගේ වරද කියන්න. ඒත් ලොකු මහත්තයා මං දිහාවත් නොබලා

‘‘මෙයාට දඩ කොලේ ගෙවන්න බැරි නං උසාවි දාන්න‘‘

කියල යන්න ගියා. මම එක් මතක් වෙලා වඩාත් ‘සංවර‘ උනා.

ටිකකින් සුවදක් ආවා. ඒක තමන් ආස ආස හිතෙන විදිහට වෙනස් වෙන සුවදක්. මට රම් බෝතලයක සුවද ආවා. ඒත් එක්කම රත්ත්‍රන් සළුවක් ඇදගත්ත සුදු රැව්ලක් තියෙන උත්තමයෙක් කාමරයට ආවා. මම නැගිට්ටා. නෙවේ නැගිට්ටුනා.

‘ඇයි ආවේ ඔබට මොනවද ඕන‘ එයා කාරුණිකව ඇහුවා.
ඕ අයි සීට වඩා හොදයි. මට හිතුනා.

‘මම ආවේ මං වින්ද දුක කියන්න. ඇයි මට මෙහෙම ජීවිතයක් දුන්නේ‘

‘හරි. ඒව ඉවරයි දැන් ඔබට ඕන දේ කියන්න‘‘

‘මට ඕන, එහෙම කලේ ඇයි අහන්න දන්නවද මට දැන් වයස 40 යි
දවස් වලින් 14600 ක්, මම කනස්සල්ලෙන් හිටියා. ඔබ තුමා දැන් මට මොන දේ දුන්නත් වැඩක් වෙනවද ? ඒ ගෙවපු අතීතය ආපසු ගන්න බැරි නං‘‘

‘හරි. ඒව ඉවරයි දැන් ඔබට ඕන දේ කියන්න‘‘

‘නැ මට දැන් ගන්න ඕන ඇයි එහෙම කරේ කි......‘‘

‘‘උඹ දන්නවද කා එක්කද කතා කරන්නේ කියලා. වහාම පිටවෙලා පලයං
දැන්නම් මම මේ මොහොතේම උඹව බල්ලෙක් කරනවා‘‘

මට ඉහවහා ගිය කේන්තියක් ආවා. නොදකිං මූත් අර ඕ. අයි. සී.ට දෙවැනි නැ

‘‘ ඉතිං කරනවකෝ. මට තමුසේ මොකක් කලත් මොකද. මේ ජීවිතයට වඩා මට අනිත් හැම එකක්ම හොද කොට.‘‘

මම ආපසු එන්න හැරුනා. හැරිලා

‘දැන ගන්නවා මං හැමෝටම කියනව තෝ පගාකාරයෙක් කියලා පගා අරන්
මිනිස්සුන්ට සැප දෙනවා කියලා‘‘

මම දොර ලගට ආවා.

‘ඕයි ... ටිකක් ඉන්නවා‘‘

මම නැවතුනා මිනිහා මං දිහා බලාගෙන උන්නා

‘ත මු සේ මහ වා ත ය ක්‘‘

මිහිහ ඇදල පැදල කීවා. මට හිනා ගියා. ඒක කියන කොට මිනිහගේ මූනේ තිබ්බේ සමහර දවස්වලට මගේ මූනට ඇදෙන රටාවක්.
‘සසරම එපා උන රටාව‘ මගේ ඒක හැදින්නා. ඒ කියන්නේ මූ අහිංසකයෙක්.

මිනිහා (එම් බ්‍රහ්ම) මට අතින් සංඥා කලා දොරේ අගුල දාන්න කියලා. මම නැගිටල දොරේ උඩ‍ට තල්ලු කරන කූර තල්ලු කලා. අහන් නැතුවම
‘ඇත- නැත‘ බෝඩ් එකේ ‘නැත‘ කියන එකට මාරු කරා. මම පුටුවේ වාඩි උනේ සැහැල්ලුවෙන්. අද ඕක්කොම කියනවා. මම හිතුවා.

‘දන්නවද මට හොද ළමා කාලයක් දුන්නේ නැ. බඩගින්නේ තිබ්බා.
ලැජ්ජාවට ලක්වෙන්න සැලැස්සුවා. හොද තරුණ කාලයක් දුන්නේ නැ.
අඩුගානේ ලොකු ‘ඇගක්‘ වත් දුන්නේ නැ. මට මං ආස කලේ කොන්ඩේ දිගට තියන කරණාවනත් කෙල්ලෙක්........

හා හාං හා ...........

මිනිහ මහ සද්දෙන් හිනාවෙන්න ගත්තා. පුටුවෙන් නැගැට්ටා. අයිනේ තිබ්බ මංජුසාවක් ඇරියා. මට රන්කාසි දෙන්න හදනවද ? මම විමසිලිමත් උනා. මිනිහා එකෙන් ගත්තේ පරන විස්කොතු ටින් එකක්. එකේ පියන ඇරල, මිනිහා කාමරේ කොනේ බිම වාඩි උනා. රෙද්දට යටින් අත දාලා කඩදාසියක ඔතපු බුලත් විටක් අරගත්ත. හිමීට විටක් හදං කටේ දාගෙන ඉතුරු ටික මට දික් කරා. ඊට පස්සේ කෙල ටික ටින් එකට ගැහුවා.

‘දැක්කොත් කේස් ඕයි‘

අයෙම විට මං දිහාවට දික් කරා.

‘සිගරට් නැද්ද‘ මං පුටුවේ. මහබබා බිම. එහෙම අහන්න මට දිරි ලැබිලා තිබුනේ.

‘තමුසේ නං ඕයි මාවම කන්න අපු එකෙක්. අර පොඩි ලාච්චුවේ ඇති. හැබැයි දුම් දාන්න ඕන ඒසී වතුර බටේ ගලවල ඒකට. කැමති නං බොනවා.‘‘

මම ජීවිතේ පලමු පාරට කැමැත්තෙන් එකග උනා. මම සිගරට් එක පත්තු කරල මිනිහ ගාවම වාඩි උනා.

‘‘ඇයි ඕයි මට මෙහෙම කරේ.‘‘ මගේ කට හඩ හැඩුම් බර වෙලා තිබ්බේ

‘‘කාටත් ඕහොම තමයි. ඒත් අනිත් උන් ‘එක‘ සැප වින්ද දවසකට, දුක් වින්ද ජීවිතයම අමතක කරනරවා තමුසේ එහෙම නැ. ඒකයි වෙනස. මට දෙන්න පුළුවන් සැප විතරයි. සැනසිල්ල තමං හදාගන්න ඕන.

මට කේන්ති ගියා.

බොරු කියන්න එපා. අනිත් උන්ට සැනසිල්ල දෙන්නේ තමුන් නෙවේද ?

‘‘නැ බං ඇත්තමයි. මං සැප එහෙම නැත්තං ධනය විතරයි දෙන්නේ. සැනසීම දෙන්නේ ‘කර්මය‘ කියන මගේ ලොකු මස්සිනා. ඇත්තම කියනවානං සැප දෙන්න මං එක එකාගෙන් ‘ගත්ත‘ නිසා තමයි බං මාත් මේ විදවන්නේ. ලොකු මස්සිනාගෙන් මං ඉල්ලුවා සැනසීම ටිකක් දිංය කියලා. උ කියනවා තෝ වගේ පගා කරයින්ට ඒක ලැබෙන් නැ කියලා.‘‘

මිනිහ හූලන්න ගත්තා. මට දුක හිතුනා.

‘අන්න තමුසෙට දුක හිතුනා නේද. අන්න ඒක දැනෙනකං තමුසෙට සැනසීම ලැබෙන් නැ. ඕන නං සැප ලැබෙයි.‘

මං නැගිට්ටා. මිනිහට නැගිටින්න අත දුන්නා. මිනිහ ගලවපු ඒසි එකේ වතුර බටේ හයි කරලා. බිස්කට් ටින් එක වැහුවා.

‘කරන්න දෙයක් නැ මල්ලි. තමුසේ ගැන මට දුකයි. මෙහෙම කරනවා
ඉතිරි කාලේ අවුරදු 30 ක් නං ඒක දවස් 365 කෑලි වලට කඩා ගන්නවා
එක දවසක් වෙන වෙනම ගෙවලා දානවා. එදාට ඉන්නවා හෙට ගැන හිතන් නැතුව. මං ඒක අත්හදාබැලුව, මරු.‘‘

මට තේරුම් ගියා හරි 365*30 - නියමයි.!
මං යන්න ලෑස්ති උනා. යාලුවා ගැන දුකක් දැනුනා මම මිනිහව බදාගත්තා.
මිනිහත් මාව බදාගත්තා.

‘මේ මිනිස්සුට සැප දෙන්න මං සල්ලි ගත්ත බව කාටවත් කියන්න එපා. එතකොට මිනිස්සු මං ගැන තියන විශ්වාසය කඩා ගන්නවා. ඒත් මං සැප දීලා කරන්නේ උන්ට අයහපතක් කියල උන් දන් නැ. මොකද ලොකු මස්සිනා මං වගේ නොවයි. උන්ගෙන් සැනසිල්ල උදුර ගන්නවා කිසිම හිතක් පපුවක් නැතුව‘

මම ඔළුව වැනුවා. දෙරේ අගුල පන්නලා එලියට ආවා අන්තිමේට යාළුවා මෙහෙම කියනවා ලාවට වගේ ඇහුනා.

පුළුවන්නං දුක හිතෙන එක අඩුකරගන්නවා ලොකු මස්සිනා උදව් කරයි.
බැරිම නං විටක් කනවා, මේ මං වගේ.

--------------------
මම උදේම නැගිට්ටා. අද එක දවසක්. පැය 24 ක්. මම ඒක කොහොම හරි ගෙවනවා. මට ඒ ඇති.

3Unlike ·  · 

Friday, January 18, 2013


සැහැල්ලුව
---------------
මට ආසයි
මල් වතු උඩින්, තුරු මුදුන් උඩින් සැහැල්ලුවේ
පියාඹන්න

ඔයා මං ලගම ඉදන්
දෝවනය කරනවා මාව, හිමිකාර, ඉරිසියාකර
ආදරෙන්

මගේ අසරන පියාඹන සිහිනය
බොදවෙලා, තෙමුන නිසා ඔබේ, ආදර වැස්සට
අත්තටු

හිතත් බරයි, තටුත් බරයි
වියපත් සිරකරුය මං, ආත්මාර්ථ ආදර විජිතයක
හිර උන.

-----------------
@ හිර ගෙය බිදින්න උලක් මුවහත් කරමින්


සැහැල්ලුව
---------------

මට ආසයි
මල් වතු උඩින්, තුරු මුදුන් උඩින් සැහැල්ලුවේ
පියාඹන්න

ඔයා මං ලගම ඉදන්
දෝවනය කරනවා මාව, හිමිකාර, ඉරිසියාකර
ආදරෙන්

මගේ අසරන පියාඹන සිහිනය
බොදවෙලා, තෙමුන නිසා ඔබේ, ආදර වැස්සට
අත්තටු

හිතත් බරයි, තටුත් බරයි
වියපත් සිරකරුය මං, ආත්මාර්ථ ආදර විජිතයක
හිර උන.

-----------------
@ හිර ගෙය බිදින්න උලක් මුවහත් කරමින්
 — 

Thursday, January 3, 2013



"පොරොන්දම "


මං එහෙම හිතාන පුටුවේ දිග ඇදුනා.
කිලෝ මීටර් භාගයක් වැස්සේ, කන්දක බයිසිකලේ තල්ලු කරං ආපු නිසා කකුල් දෙක වේවලනව වගේ, මම සපත්තුව අනිත් කකුලින් ගලවල ටීපෝ එකේ කකුල් දෙක තියාන ඇස් පියා ගත්තා.

‘‘බයිසිකලේ අයිනටම දාලා ආවනං ලේසිනේ ‘‘

ඒ බිරිදගේ තුන්වන ඉල්ලීම. මොකද මහන්සිය නිසා මම බයිසිකලේ නැවත්තුවේ ගේ ඉස්සරහ. එතකොට දෙවැනි ඉල්ලීම උනේ. ඔයා තෙමිල ඉන්න නිසා, පිටිපස්සෙන්ම ගිහින් නාගන්න කියන එක.

‘අද නරක දවසක්‘ දෙවියොත් එක්ක වැඩි ආශ්‍රයක් නැති නිසා මම එහෙම හිතන්න හිතුවේ නැ. ඒත් අද නං කුජීත දවසක්. එත් එක්කම බිරිදගේ පළමුවන ඉල්ලීම මතක් උනා.

‘‘ ඇයි රෑ උනේ මම ඔයා එනකං හිටියේ පාන් එකක් ගෙන්න ගන්න, සුදූට හෙට ඉස්කෝලේ ගෙනියන්න“

වැස්සට මොකක් හරි වෙලා ගෙට ටිකක් දුරින් බයිසිකලේ නතර උනා.
බයිසිකලේට මක් වෙලාද ? ඈ කියන ඒවා ඉල්ලීම් හැටියට තේරෙන ඇයි කියල මට හැමදාම හිතුනා.

බිරිදගේ ඉඩමක ගෙයක් හැදුව නිසා රැකියාව කරන්න මට සදුදා උදේම කොළඹ එන්න වෙනවා. අයෙම ගෙදර යන්නේ සෙනසුරාදා හවස
බෝඩිං කාමරයක දවස් 5 ක් රෑ ගෙවන මම දවස් දෙකක් ‘නිදහස‘ හොයාන යනවා.

සේල්ස් රෙපෙක් වෙච්ච මගේ රැකියාට කැමති උනත් නැතත් දැන් ඒක ජීවිතය වෙලා තිබුනේ. කඩවලට වාරකන් කාල තිබ්බට ආයතනයට ඒක අදාල නැ. මට මේ මාසේ තිබ්බ ඉලක්කයට තවත් ලක්ෂයක් සපුරන්න තිබ්බා.

මම උදේම මහ වැස්සෙම එලියට බැස්සා. හවස ගෙදර යන්න කලින්
ඉලක්කයෙන් භාගයක්වත් සපුරන්න හිතාගෙන. මාසේ අන්තිම නිසා පසුම්බිය සැහැල්ලු සුව වින්දා, එත් ඔළුව එකේ අනිත් පැත්ත. කඩෙන් කන්න යන වියදම වැඩි නිසා බෝ
ඩිං කාමරය ලග ගේකින් මම කෑම ගත්තා. කෑම එකත් මල්ලට දාගෙන මම වැඩේට බැස්සා. වැස්සෙම කඩෙන් කඩේ ගානේ ගියා දවල් කඩයක වහලකින් එකපාර ආපු වතුර පාරක් මගේ කෑම එක තිබ්බ බෑග් එක සුනාමියකට අහුඋනා.

‘බත් සුප්‘ මට ටිකක් වේදනාවක් ආවේ සාක්කුවේ සැහැල්ලුව මතක් වෙලා.
මම බඩගින්නේම වැඩේ කරගෙන ගියා. මගේ ඉලක්කය උනේ රෑ 9.00 ට පෙරවත් ගෙදර යන්න. එහෙම හිතාන වැස්සෙම එන්න ආවා.

‘වාහනයක් හැප්පිලා ‘

පාරේ හිටිය කෙනෙක් කියනවා ඇහුනා. ගමන මාර්ග තදබදය නිසා පරක්කුවෙන හැඩයි.

මම උදේ ඉදන් වෙච්ච දේවල් බිරිදට කියා ගෙන කියා ගෙන ගියා. මම හිටියේ ඇස් වහගෙන එත් මම බිරිදගේ මුන දැක්කා. එයාගේ ඇස් දුකින් බරවෙලා තිබ්බා ඇස් කදුලින් බොද වෙලා. මට හිතුනා එයා නැගිටල මගේ ලගට එනවා වගේ හිස අතාගානව වගේ. ඇස් පියාන උන්න මගේ කටහඩ තවත් ඇඩුම්බර උනා.

‘‘බැරිම තැන මම කඩේකට ගියා. බඩගිනි කලන්තේ වගේ. අතේ තියන ගාන බලල මම කොත්තුවක් ඉල්ලුවා. කඩේ කොල්ලා කොත්තුව ගෙනත් තිබ්බා මම ජැකට් එක ගලවන්න අත දිගෑරිය විතරයි මිනිහගේ අතේ තිබ්බ හොදි එක මගේ ඇගේ හැලුනා.‘‘

ගහෙන් ඇන්න මිනිහට ගොනා ඇන්න වගේ දුකින් මම ඒ ටික කියාගෙන ගියා මම දැන් බිරිදගේ ඇඩුමක් හිතින් බලාපොරොත්තූ උනා. ඒත් මට මහා ආත්මානුකම්පාවෙන් පිරුන මගේ හිත ඇය පිරිමදියි කියලත් දැනුනා..

‘සරාස්‘
සද්දෙන් මම හීන ලෝකෙන් මිදුනා බිරිද වේගෙන් පුටුව පස්සට තල්ලු කර නැගිට්ටා. මාව පසුකර යන ගමන්

‘අපිට තමයි කොත්තු නැත්තේ. මං මෙහේ බත් තම්ම තම්බ ඉන්න ඕන‘
කියගෙන ගියා.
---------------------------------------------------------------------------
සදුදා උදේ දියනිය පාසැල ගාවින් දාගෙන මම කොළඹ එන්න පිටත් උනා

දවස් 2 ක් ගෙදර රෑ ගෙවන මම දවස් පහක් ‘නිදහස‘ හොයාන යනවා.
ප්ලෙන්ටියක් සිගරට් එකක් පාන් භාගයක් තනිකමක් - සහ නිදහසක්
 ......